පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් 1940 වර්‍ෂයේදි ගාලු දිස්ත්‍රික්කයේ බෞද්ධ පවුලක උපත ලැබූහ. ගාල්ලේ මහින්‍ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ එහිදී නියම බෞද්ධ වටිනාකම් හඳුනා ගත්හ. අනතුරුව 1962 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා වසර කිහිපයක් එහි සහකාර කථිකාචාර්‍යවරයකු වශයෙන් සේවය කළහ. එම තනතුර 1967 වසරේදී අත්හළේ දොඩන්දූව පොල්ගස්දූව සෙනසුනෙහිදී පැවිදිබිමට පත්වීමටය.

පොල්ගස්දූව සෙනසුනෙහි වැඩවිසු අවධියෙහිදී පූජ්‍ය ඤාණනන්‍ද හිමියන් ඉංග්‍රීසි බසින් ලියූ

  1. Concept and Reality in Early Buddhist Thought
  2. Saṁyutta Nikāya – An Anthology (Part II)
  3. Ideal Solitude
  4. The Magic of the Mind

යන ග්‍රන්‍ථ සතර, මහනුවර බෞද්ධ ග්‍රන්‍ථ ප්‍රකාශන සමිතිය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. 1972 වසරේදී පොල්ගස්දූව සෙනසුනෙන් නික්ම මීතිරීගල නිස්සරණ වන සෙනසුනට වැඩම කළ උන්වහන්සේ එහිදී ප්‍රවීණ විදර්‍ශනා කර්‍මස්ථානාචාර්‍ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ ගුරු ඇසුරට පත්වූහ. දශක දෙකක් පමණ කාලය තුළ පැවති ඒ ගුරු-ගෝල සම්බන්ධතාව, භාවනාව පිළිබඳ උපදේශාත්මක ග්‍රන්‍ථාවලියක් මගින් ධර්‍ම ප්‍රචාරය කිරීමේ නව යුගයක් උදාවීමට හේතුවිය.

මේ දීර්‍ඝ ගුරු-ගෝල සම්බන්ධතාවෙහි අග්‍රඵලය වූයේ අතිපූජ්‍ය ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ සමාරාධනයෙන් පූජ්‍ය ඤාණනන්‍ද හිමියන් විසින් තම සබ්‍රහමචාරී නිස්සරණ වන යෝගාවචර සඟ පිරිස උදෙසා 1988 අගෝස්තු මස සිට 1991 ජනවාරි මස දක්වාවූ කාල පරිච්ජේදය තුළ ‘නිබ්බාන’ යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා 33 ය. පටිගත කරනලද එම දේශනා මාලාවට සවන් දීමෙන් ප්‍රබෝධවත්වූ උද්යෝගිමත් ගිහි පිරිසක් ඒ දේශනා ග්‍රන්‍ථාවලියක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණෙන් මහා භාරකාර දෙපාර්‍තමේන්තුවෙහි විශේෂ ධර්‍ම ග්‍රන්‍ථ මුද්‍රණ භාරයක් පිහිටුවීමට පුරෝගාමී වූහ. පාඨකයන්හට සියලූම පොත් නොමිලයේම ලබාදීමේ උතුම් ධර්‍මදාන සංකල්පය පූජ්‍ය ඤාණනන්‍ද හිමියන් තුළ ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ මහජනතාවට මෙම ග්‍රන්‍ථ මුද්‍රණය සඳහා දායකවීමේ අවස්ථාව සැලසුනි. මේ තීරණාත්මක පියවර තුළින් මතුවූ ආධ්‍යාත්මික පුනර්ජීවනය වාණිජකරණයේ රුදුරු වාරකන් රැල්ලට ගසාගෙන යන චිරාගත ධර්‍මදාන සංකල්පයේ වටිනාකම යළි තහවුරු කරන සුළුවිය. එහි අගය වඩාත් උද්දීපනය වූයේ පාඨකයින් ධර්‍මදාන වශයෙන් තමන් ලද පතපොත නොමසුරුව අන්‍යයන්ටද කියවීමට දීමේ හිතකර සංස්කෘතික වාතාවරණයක් ඒ තුළින් මතුවීමෙනි. ශාසන චිරස්ථිතිය සඳහා අත්‍යන්තයෙන්ම උපකාරවන සුහද කල්‍යාණ මිත්‍ර සම්බන්ධතාවකට එයින් මඟ හෙළිවිය.

ග්‍රන්‍ථ ප්‍රකාශනය සඳහා භාරයට ආධාර එවීමෙහිලා බෞද්ධ මහජනතාව මෙතෙක් දක්වා ඇති අසාමාන්‍ය ප්‍රතිචාරය මේ උත්කෘෂ්ට ධර්‍මදාන වැඩ පිළිවෙලෙහි ඉදිරිගමන පිළිබඳ පෙරනිමිත්තක් ලෙස ගිණිය හැකිය. දායක නාමලේඛනයක් සාමාන්‍යයෙන් ග්‍රන්ථාවසානයෙහි පළවන නමුදු ඇතැම් දායකයින් කරන මහා පරිමාණයේ ආධාර පවා නිර්නාමිකව තිබෙනු දකින්ට ලැබීම විශේෂ ලක්‍ෂණයකි. මේ ආදර්‍ශවත් ගුණාංගය, දායක පක්‍ෂය භාරය කෙරෙහි තබා ඇති අචල විශ්වාසය පිළිබිඹු කරන සංකේතයකි.

පූජ්‍ය ඤාණනන්‍ද හිමියන්ගේ දේශනා සහ ග්‍රන්‍ථ ප්‍රකාශනය පිළිබඳ කාර්‍යභාරය, කටුකුරුන්දේ ඤාණනන්‍ද සදහම් සෙනසුන් භාරය උසුලන අතර, එම ධර්‍මදානය නූතන විද්‍යුත් මාධ්‍ය මගින් වඩාත් පෘථුල ලෙස ලෝක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. තවද තැටිගත කරනලද ධර්‍ම දේශනා සංයුක්ත තැටි තුළින් ධර්‍මදාන වශයෙන් නොමිලයේ ප්‍රදානය කරන මෙම භාරය, අන්තර්ජාලය ඔස්සේ ධර්‍මදේශනා මෙන්ම ධර්‍ම ග්‍රන්‍ථද වාණිජ තහංචිවලින් තොරව ලොවට දායාද කරයි.

www.seeingthrougthenet.net
www.facebook.com/seeingthrough


කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය

‘කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය’ පූඡ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත සියලුම ධර්ම ග්‍රන්ථ හා දේශිත ධර්ම දේශනා පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම ධර්ම පිපාසිත ලෝකයාහට ප්‍රදානය කිරීමේ උන්වහන්සේගේ අභිමතාර්ථය ඉටු කිරීමට ඇප කැප වී සිටියි. මේ අනුව ධර්ම ග්‍රන්ථ මුද්‍රණය සහ බෙදාහැරීම පිළිබඳ කාර්යභාරයත්, ධර්ම දේශනා සංයුකත තැටිගත කිරීම සහ www.seeingthroughthenet.net වෙබ් අඩවිය, www.facebook.com/seeingthrough සමාජ ජාල අඩවිය පවත්වා ගෙන යාමත් කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරයේ වගකීම වනු ඇත.

දෙස් විදෙස් වැසි ධර්මකාමී පාඨක ශ්‍රාවක විශාල පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම පුළුල් ධර්ම දාන වැඩ පිළිවෙලට දායකවීමට කැමති පින්වතුන් හට පහත සඳහන් බැංකු ගිණුමට තම ආධාර මුදල් යොමුකිරීමට අවස්ථාව ඇත.

මෙම ධර්ම දාන වැඩපිළිවෙලට ආධාර එවීම පිළිබඳ සියලු විමසීම්:
කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය
කිරිල්ලවල වත්ත, දම්මුල්ල, කරඳන.
දුරකථන අංක: 0777127454
ඊමේල් ලිපිනය: knssb@seeingthroughthenet.net

ආධාර මුදල් යොමු කිරීම:
කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය (K.N.S.S.B)
ගිණුම් අංක: 007060000241
සම්පත් බැංකුව, SWIFT: BSAMLKLX
ශාඛා අංකය: 070
ශාඛාව: ආර්. ජී. සේනානායක මාවත, කොළඹ – 07.

සැ. යු.: ඔබ විසින් සිදු කෙරෙන උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවට පුණ්‍යානුමෝදනා පත්‍ර නිකුත් කිරීම පිණිස, අධාරයක් යොමු කල විට ඒ පිළිබඳව විස්තර සහ ඔබගේ ලිපිනය සහිතව ක.ඤා.ස.සෙ. භාරය වෙත දන්වා එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.